විවරණය
නාදුනන පුද්ගලයකුගේ ස්වරූපයෙන් සහාබාවරුන් අතර ජිබ්රීල් අලයිහිස් සලාම් තුමා දිස් වූ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටිමින් එතුමාගේ ස්වරූපය ගැන මෙසේ විස්තර කළේය. එතුමාගේ ඇඳුම සුදෝ සුදු වර්ණයෙන් වූ අතර එතුමාගේ හිසකෙස් කළු වර්ණයෙන් යුක්ත විය. තෙහෙට්ටුව, තැවරුණු දූවිලි, වියවුල් වූ හිසකෙස්, කිලිටි වූ ඇඳුම වැනි මගියකු තුළ දක්නට ලබන කිසිදු සළකුණක් දක්නට නොවීය. එහි සහභාගි වී සිටි කිසිවෙක් ඔහු හඳුනන්නේ ද නැත. ඔවුහු ද වාඩි වී සිටියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) තුමාණන් අබියසය. පසුව ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ දැනුම හදාරන ශිෂ්‍යයකු මෙන් වාඩි විය. හෙතෙම ඉස්ලාමය ගැන විමසීය. එවිට එතුමාණෝ, ප්‍රතිපත්තිමය සාක්ෂියේ ප්‍රකාශ දෙක පිළි ගැනීම, පස්වේල සාලතය සුරක්ෂිතව ඉටු කිරීම, සකාතය සුදුසු උදවියට පිරිනැමීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, හැකියාව ඇති තැනැත්තන්හට හජ්හි වගකීම ඉටු කිරීම යනාදිය ඇතුළත් වූ මූලික වගකීම් ඉදිරිපත් කරමින් ඔහුට පිළිතුරු දුන්හ.
පසුව එතුමා: ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. එවිට එතුමා ඉදිරිපත් කරන දෑහි එතුමාට කිසිවක් නොදන්නා බව එතුමාගේ ප්‍රශ්නයෙන් පෙනුන ද, පසුව එතුමා ඒ ගැන තහවුරු කර සිටීම ගැන සහාබාවරු පුදුමයට පත්වූහ.
පසුව එතුමා ‘ඊමානය ගැන තොරතුරු විමසා සිටියේය. එතුමාණෝ විශ්වාසයේ කරුණු හය සඳහන් කරමින් එතුමාට පිළිතුරු දුන්හ. එනම්: අල්ලාහ්ගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග, මැවීම වැනි ඔහුට පමණක් ආවේනික ක්‍රියාවන්, නැමදුමට ඔහු පමණක් සුදුසුකම් ලැබීම යනාදිය ගැන විශ්වාස කිරීම, සැබැවින්ම මලක්වරුන්, ගෞරවණීය ගැත්තන් ලෙස අල්ලාහ් ආලෝකයෙන් මවා ඇති බවත් ඔවුන් අල්ලාහ්ට කිසිදු ආකාරයෙන් පිටු නොපාන බවත් ඔහුගේ නියෝගයට අනුව පමණක් ඔවුන් කටයුතු කරන බවත් විශ්වාස කිරීම, කුර්ආනය, තව්රාතය, ඉන්ජීලය හා වෙනත් දිව්‍ය ග්‍රන්ථ මෙන් ධර්ම දූතයින් වෙත අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තක විශ්වාස කිරීම, අල්ලාහ්ගේ දහම ප්‍රචාරය කළ ධර්ම දූතයින් විශ්වාස කිරීම, ඔවුන් අතරට නූහ්, ඉබ්‍රාහීම්, මූසා, ඊසා හා අවසාන වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හා අනෙකුත් නබිවරුන් හා රසූල්වරුන් ද ඇතුළත් වේ. අවසන් දිනය විශ්වාස කිරීම, එහි මිය ගිය පසු පවතින තත්ත්වය, කබ්ර් ජීවිතය, සැබැවින්ම මිනිසා මිය ගිය පසුව අවදි කරනු ලැබ විනිශ්චයට භාජනය වීම, ඔහුගේ අවසන් ගමන ස්වර්ගය වෙත හෝ නිරය වෙත හෝ පැවතීම යනාදිය එහි ඇතුළත් වේ. එමෙන්ම අල්ලාහ් තම දැනුම, තීරණය, ප්‍රඥාව හා තම ලේඛනයේ පෙර සඳහන් කළ පරිදි හා ඔහුගේ අභිමතය පරිදි සියලු කරුණු නිර්ණය කර ඇති බවත් ඔහු නිර්ණය කළ පරිදි හා මවා ඇති පරිදි කරුණු සිදුවන බවත් විශ්වාස කිරීම. පසුව එතුමාණන්ගෙන් ඉහ්සාන් පිළිබඳ විමසා සිටියේය. එවිට එතුමාණෝ: සැබැවින්ම ඉහ්සාන් යනු තමන් අල්ලාහ්ව බලා සිටින්නාක් මෙන් ඔහු නැමදීමය. එම ස්ථාවරයට ළඟා වීම තමන්ට සහතික කළ නොහැකිනම්, අල්ලාහ් තමව බලා සිටින සේ අල්ලාහ්ට නැමදුම් කළ යුතුය. පළමුවැන්න බැලීමේ ස්ථාවරය වේ. උසස් වනුයේ එයයි. දෙවැන්න අධීක්ෂණයේ ස්ථාවරයයි.
පසුව අවසන් හෝරාව සිදුවනුයේ කවදා ද? යැයි විමසා සිටියේය. එතුමාණෝ: සැබැවින්ම අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ගේ දැනුමට පමණක් බලපාන කරුණක් බවත් ඒ ගැන වෙනත් කිසිවකු නොදන්නා බවත් එම ප්‍රශ්ණය විමසනු ලබන්නාට වඩා විමසන්නා මැනවින් දන්නා බවත් පැහැදිළි කළහ.
අවසන් හෝරාවේ සළකුණු පිළිබඳව එතුමාණන්ගෙන් හෙතෙම විමසා සිටියේය. එවිට එතුමාණෝ වහල් කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් බහුල වීම, එසේ නැතහොත් දරුවන් තම මව්වරුන් වහල් සේවයට යොදා ගනිමින් ඔවුනට හිංසා පීඩා කිරීම හා එළුවන් බලා කියා ගන්නා එඬේරුන් හා දුගී දුප්පතුන්ට අවසන් කාලය වන විට මෙලොවෙහි පහසුකම් විස්තීරණ වන අතර ඔවුන් අලංකාර ගොඩනැගිලි ඉදිකිරීම් හා නිර්මාණ කිරීමේ දී එකිනෙකා අහංකාරකම් පාන බව පැහැදිළි කර සිටියහ.
පසු ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: සැබැවින්ම එසේ විමසා සිටි තැනැත්තා ජිබ්රීල් තුමා බවත් එතුමා සහාබාවරුන්ට පිවිතුරු ආගම ඉගැන්වීම සඳහා පැමිණි බවත් දන්වා සිටියහ.